Sunday, February 26, 2012

ශ්‍රමයේ කතාව - 06

නිෂ්පාදන සාධක ගැන තව දුරටත් කතා කිරීම.....
නිෂ්පාදන සාධක හැටියට අපි හදුනාගත්තේ ශ්‍රමය, ශ්‍රම විෂය හා ශ්‍රම මාධ්‍යයයි. මේ සාධක සියල්ලම ද්‍රව්‍යමය නිෂ්පාදනයේදී ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ද්‍රව්‍යමය සාධක හා පුද්ගල සාධක හැටියට. මොනවද මේ ද්‍රව්‍යමය සාධක? භාණ්ඩ නිෂ්පාදනයේදී මිනිසුන් විසින් උපයෝගී කරගන්නා අජීවී වස්තූන් මේ ගනයට වැටෙනවා. පුද්ගල සාධක කියන්නේ මිනිසුන් විසින් එකතු කරන තම පුද්ගල ශක්තියයි. ඒක සජීවී සාධකයක්. දැන් ඒවා ගලපන්න බලමු.
මේ සාධක වලින් ශ්‍රම විෂය හා ශ්‍රම මාධ්‍යය යන දෙකම ද්‍රව්‍යමය සාධක වන අතර ඒවාට ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන මාධ්‍ය කියල කියනවා. අපි කලින් නිෂ්පාදන සාධකයක් හැටියට "ශ්‍රමය" හැදින්වුවත් ඇත්තටම නිෂ්පාදනයට උපයෝගී වන පුද්ගල සාධකය වන්නේ ශ්‍රම ශක්තියයි. ඒ අනුව ඉහත සමීකරනය අපට පහත පරිදි දක්වන්න පුළුවන්.
දැන් අලුත් වචනයක් සමීකරනයට එකතු වෙලා. නිෂ්පාදන බලවේගය. අලුත් වුනාට තේරුම් ගන්න අමාරු නෑ. නිෂ්පාදන සාධක වලටම තමයි නිෂ්පාදන බලවේගය කියලා හදුන්වන්නේ.

ශ්‍රම ශක්තිය කියලා කියන්නේ මොකක්ද?
අපි නිෂ්පාදන සාධක ගැන කතා කරද්දි මුලින්ම කතා කළේ "ශ්‍රමය" ගැනයි. ඒත් දැන් ශ්‍රමය වෙනුවට ශ්‍රම ශක්තියයි අප එකතු කළේ. ඒ ඇයි? ශ්‍රම ශක්තිය කියන්නේ මිනිසුන් සතු ශ්‍රමය වැගිරවීමේ හැකියාවයි. ඒ කිව්වේ යම් කිසි කාර්යයක් කිරීමට මිනිසාට ඇති ශක්තියයි. මෙන්න මේ හැකියාව ක්‍රියාවට නැගීමෙන් ලැබෙන ප්‍රතිපලය තමයි "ශ්‍රමය" කියන්නේ. ඒ නිසා ශ්‍රමය හැටියට කතා කරනවාට වඩා "ශ්‍රම ශක්තිය" හැටියටයි නිෂ්පාදන සාධක හදුනාගැනීමයි නිවැරදි වන්නේ.
අප ඉහත සාධක ගැන කතා කරද්දි ද්‍රව්‍යමය නිෂ්පාදනයක් ගැන සඳහන් කළා. එහෙමනම් නිෂ්පාදනය තවත් කොටස් වලට බෙදෙන බව එයින් හැඟවෙනවා. ඔව්. නිෂ්පාදනය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි භාණ්ඩ (ද්‍රව්‍යමය) නිෂ්පාදනය හා සේවා (ද්‍රව්‍යමය නොවන) නිෂ්පාදනය ලෙස.

භාණ්ඩ නිෂ්පාදනය යනු....
අපි මෙතෙක් උදාහරණ බොහෝමයක්ම අරගත්තේ මේ භාණ්ඩ නිෂ්පාදනයෙන්. සෘජුවම පරිභෝජනයට ගන්නා නිෂ්පාදිතයක් එකවර හෝ ක්‍රමයෙන් එහි ස්වරූපය වෙනස් වෙමින් එයින් බලාපොරොත්තු වූ පරිභෝජන හැකියාව අහිමි වී යයි නම් එය භාණ්ඩ නිෂ්පාදනයකි. උදාහරණ විදිහට පාන්, පොත්පත්, ඇඳුම්, ගෘහ භාණ්ඩ, යන්ත්‍රසූත්‍ර,....

සේවා නිෂ්පාදනය යනු....
මෙහිදී භාණ්ඩ නිෂ්පාදනයේදී මෙන් නිෂ්පාදිතය පරිභෝජනයෙන් අනතුරුව ක්ෂය වෙන්නේ නෑ. එය තවදුරටත් ගුණාත්මකව වර්ධනය වෙමින් හෝ ඉදිරියටත් පරිභෝජනය කිරීමේ හැකියාව සහිතව පවතිනවා. ඒත් මේ සේවාව නිපදවීම සඳහා උපයෝගීකරගත් ද්‍රව්‍යමය සාධක ක්ෂයවීමට හැකියි. උදාහරණ විදිහට ප්‍රවාහන සේවය, සෞඛ්‍ය සේවය,...

ප්‍රවාහන සේවය සලකන විට ඒ සඳහා යොදා ගන්නා වාහන, මාර්ග, සංඥා පද්ධති, ආදී බොහෝ දෑ ක්ෂය විය හැකියි. එවිට ඒවා අලුත් වැඩියා කිරීමට හෝ අලුතින්ම නිපදවීමට සිදුවෙනවා. මේ සඳහා රියදුරෙකුගේ සේවය අත්‍යාවශ්‍ය වෙනවා. ඒත් ප්‍රවාහන සේවය යනු රියදුරාගේ සේවයම නොවෙයි. ඔහු එකතු කරන්නේ ඔහුගේ ශ්‍රම ශක්තියයි. එය සේවයක් බවට පත්වීමට ඉහත කී පරිදි වාහනයක් හා මාර්ගයක් අත්‍යාවශ්‍ය වෙනවා.
නිෂ්පාදනය, නිෂ්පාදන සාධක, නිෂ්පාදන බලවේගය ගැන සාකඡ්ඡා කළ පසුව අප ඊළඟට අවධානය යොමුකළ යුත්තේ නිෂ්පාදනයේදී මිනිසුන් අතර පවතින සබඳතා පිළිබඳවයි.ශ්‍රමයේ කතාව-07න් අපි ඒ ගැන කතා කරමු.

Wednesday, November 30, 2011

ශ්‍රමයේ කතාව - 05

නිෂ්පාදනයක් කරන්න නම් ශ්‍රමය වැගිරීමක් අවශ්‍යමයි. ඒ පිළිබඳව අපි ඉගෙනගත්තා. නිෂ්පාදනයක් කරන්න ශ්‍රමය තිබුණාම ප්‍රමාණවත්ද? මේ ලිපියෙන් කතා කරන්නේ ඒ පිළිබඳවයි.

වළං හදන්න දැනගත්ත පමණින් වලං හදන්න පුළුවන්ද?
බැහැ. එක කරන්න නම්
ඒකට අපිට තව දේවල් ටිකක් ඕන කරනවා. මෙහෙම හිතමු. කෙනෙක් ඉන්නවා. එයා දන්නවා වළං හදන්න. නමුත් එයාට වළං හදන්න නම් මැටි අවශ්‍යයි. වළං හදන කෙනා එහෙම නැත්නම් කුඹල්කරුවා මේ මැටි ටික පදමට අනලා සකපෝරුව යොදාගෙන වළං හදනවා. නැත්නම් වෙනත් මැටි භාණ්ඩයක් හෝ විසුතුරු භාණ්ඩයක් හෝ හදනවා.

අපි හිතමු තවත් කෙනෙක් ඉන්නවා ලී බඩු හදන්න දන්න කෙනෙක්. ඒත් ලී බඩුවක් හදන්න නම් එයාට දැව අවශ්‍ය වෙනවා. ඒ වගේම තවත් කෙනෙක් දැව නිපදවන්න දන්නවා. හැබැයි ඒක කරන්න එයාට කැපූ ගසක් අවශ්‍යයි. ඒකට ගහ කපන්න දන්න කෙනෙක් හිටියට මදි. කපන්න ගහක් තියෙන්නත් ඕනා.

මේ හැම දෙයකින්ම පැහැදිලි වෙන්නේ කුමක්ද? යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න මූලික ද්‍රව්‍ය ටිකක් අවශ්‍ය බව අපට පෙනුනා. අපි මේවාට කියනවා අමුද්‍රව්‍ය කියලා. එතකොට භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න අමුද්‍රව්‍ය අවශ්‍යයි. ඒ කියන්නේ ශිල්පය දන්න කෙනා තමාගේ ශිල්පීය හැකියාව නැත්නම් ශ්‍රමය වැගිරවීමේ හැකියාව එහෙමත් නැත්නම් ශ්‍රම ශක්තිය අමුද්‍රව්‍ය මත හෙලුවාම ඒකෙන් අවශ්‍ය භාණ්ඩය නිපදවාගන්න පුළුවන්. කුඹල්කරුවාට අදාළව අපි මේක කතා කළොත් මැටි පිඬක් මත කුඹල්කරුවා තම ශ්‍රමය වගුරවන්නේ නම් ඒකෙන් වළං හදාගන්න ඔහුට පුළුවන්. මේක තවත් විදිහකින් කියනවා නම්, කුඹල්කරුවා වළං හැදීම සඳහා තම ශිල්පීය හැකියාව නැතහොත් ශ්‍රම ශක්තිය වගුරවන්නේ කුමක් මතද? මැටි පිඬක් මතයි. අපි ඉහත පැහැදිලි කිරීමට අනුව ගතහොත් මැටි කියන්නේ අමුද්‍රව්‍යයක්. ඒ වගේම අපි ඒකට ආර්ථික විද්‍යාවේදී තවත් නමක් කියනවා. ඔහු ශ්‍රමය වගුරවන්නේ මැටි පිඬ මතය. එනම් ඔහුගේ ශ්‍රමයට හසුවන්නේ නැතිනම් ශ්‍රමයට විෂය වන්නේ මැටි පිඬය. එම නිසා අපි මේවාට අමුද්‍රව්‍ය නොකියා ශ්‍රම විෂය කියලා භාවිතා කරනවා.

ඇයි අමුද්‍රව්‍ය කියලාම භාවිතා කරන්න බැරිද?
ඇත්තටම අමුද්‍රව්‍යයක් කියන්නේ සොබා දහමෙන් පළමු වරට මිනිසාගේ ශ්‍රමයට හසුවන ද්‍රව්‍යවලටයි. ගස් කපන්නාට ගහ අමුද්‍රව්‍යයක්. හැබැයි කැපූ ගහ ඔහු විසින් නිෂ්පාදනය කළාට පස්සේ දැව ඉරන්නා ශ්‍රමය වගුරවන්නේ කැපූ ගහ මත නැත්නම් නිෂ්පාදිතයක් මත. මෙහිදී කෙරෙන්නේ නිෂ්පාදනයක් මගින් නැවත නිෂ්පාදනයක් කිරීම නැත්නම් ප්‍රතිනිෂ්පාදනයක් කිරීමයි. මේ අනුව එක්වරකදී අමුද්‍රව්‍යයක් නිෂ්පාදනයට යොදාගන්නා අතර තවත් වරකදී නිෂ්පාදනයක් නැවත නිෂ්පාදනයට යොදා ගැනීමක් සිදු වෙනවා. ඒ නිසා නිෂ්පාදනයට යොදාගන්නා ද්‍රව්‍යයට යොදන නම අමුද්‍රව්‍යයක්ම කියන්න අපට බෑ. ඒ නිසා මේ හැම එකකටම පොදුවේ භාවිතා කරන්න පුළුවන් වචනයක් තමයි ශ්‍රම විෂය කියන්නේ.
මැටි නැත්නම් කුඹල්කරුවෙක් සිටීද?
මැටි නැතිනම් කුඹල්කරුවාට ශ්‍රමය වැගිරීමට ශ්‍රම විෂයක් නැති නිසාම ඔහුට කුඹල්කරුවෙක් වීමටත් බැහැ. ගසක් නැති තැන ගස් කපන්නෙක් සිටින්නත් බැහැ. ගස් කපන්නෙක් සිටියත් ගසක් තිබුණත් ගස් කපන්න පුළුවන්ද?
මේ ගැන ඉදිරියේදි කතා කරමු.


Friday, October 28, 2011

ශ්‍රමයේ කතාව-04

ශ්‍රමය කියන්නේ මොකක්ද කියලා මූලික හඳුනාගැනීමක් පසුගිය ලිපිවලින් සිදුකළා. නමුත් අපිට ප්‍රශ්නයක් ඉතිරි වුනා. ඒ සත්තු කරන වැඩ වලට ශ්‍රමය කියල කියනවද කියන එක. ශ්‍රමය ගැන අර්ථකතනය කරද්දි අපි කිව්වා "ශ්‍රමය කියන්නේ අරමුණු සහගත ක්‍රියාකාරීත්වයක් " කියල. ඉතින් අරමුණක් තියෙන්න නම් හිතන්න පුළුවන් වෙන්න ඕනා.

කඩේ යන බල්ලන්ට හිතන්න පුළුවන්ද?
ගෙදර සුරතලුන් බවට පත්වෙලා ඉන්න සතුන් කරන දේවල් දිහා බලලා සමහර මිනිස්සු ස්ථිරවම සතුන්ට හිතන්න පුළුවන් කියල කතා කරනවා. "මේකා නම් මහ පුදුමාකාර බල්ලෙක්. මූට හැම දෙයක්ම තේරෙනවා." කියල කියන්නේ එහෙම හිතලයි.

කඩේ යන බල්ලෙක් ගැන හිතන්න. එක දවසක් හෝ දෙකක් ගෙදර නෝනා කඩේ යනකොට බල්ලාගේ කටට කූඩෙ දීලා එක්කරගෙන යනවා. ඊට පස්සෙ ඕනෑම වෙලාවක කූඩය කටට දුන්නොත් බල්ලා නවතින්නේ අර කලින් ගිහින් පුරුදු කඩේමයි. හැබැයි පුරුදු කඩේ වහල තිබ්බොත් බල්ලා ආපහු එනවා. ඌ යනවද කඩේ අඩුවෙච්ච බඩු ගේන්න වෙන කඩයකට? නෑ... ඒ වගේම බල්ලට තුණ්ඩුවක් විතරක් දීල "කඩේ පලයන්" කියලා බලන්න. ඌ යන්නේ නෑ. ඒ වගේම සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල ඉන්න සමහර බල්ලො අපිත් එක්ක නාන්න යනවනේ. අපි රෙදි අරගෙන පනිට්ටුවක් ගත්තාම ඌ කලින් ගිහින් පුරුදු නම් ඒ පුරුදු ළිඳට හෝ ගඟක තොටුපලට අපිට කලින් යනවා. හැබැයි අපි තොටුපල හෝ ළිඳ වෙනස් කළාම ඌට ඒක කරන්න බෑ, නැවත පුරුදු වෙනකම්.

අලි අනාථාගාරවල ඉන්න අලි, හරියටම උදේ 6ට, සවස 5ට, තමන්ට කිරි දෙන ස්ථානයට එකතු වෙනවා. කොයිතරම් කැලේ ඈතට ගිහින් හිටියත් තමන්ගේ රංචුවත් එක්ක ඇවිත් පෝලිමට කිරි බොන්න එනවා. උන් වෙලාව බලලද එන්නේ..? නෑ... උන්ගේ ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය විසින් ඒ වෙලාවට කිරි බොන්න යන්න බලකෙරෙන උත්තේජනය සැපයෙනවා. ​වෙලාවට හුරු වුණාම ඒ වෙලාවටම ඌත් අදාල තැනට එනවා. උත්තේජන හට ගැනීම ජීව රසායනික ක්‍රියාවලියක්. සතුන් ඒවාට ප්‍රතිචාර දක්වන්නේ කලින් කරලා පුරුදු විදිහට. මිනිස්සුන්ට වුනත් උදේ 8ට කාලා පුරුදු වුනාම හැමදාම උදේ 8ට බඩගිනි වෙනවා. උදේ 5ට නැගිටල පුරුදු අයට ඔරලෝසු සීනු නාදය අවශ්‍ය නෑ. වෙලාවට ඇහැරෙනවා. ශරීරය ඒ වෙලාවල්වලට හුරුවීමකින් තමයි එහෙම වෙන්නේ. මිනිස්සුන්ගේ තියෙන වෙනස තමයි ඒවට හිතල මතල තමන්ට අවශ්‍ය විදිහට වැඩ කිරීම. නමුත් සතුන් කරන්නේ තමන්ට පුරුදු දේ විතරයි.

සත්තු පුරුදු දේ විතරක් කරන්නේ ඇයි?
සතුන්ට පුරුදු ආකාර දෙකක් තියෙනවා. එකක් සහජ පුරුදු. ඒ අනුව තමයි තමන්ගේ කූඩුව හදන්නේ. ඒ අනුව තමයි හෝමෝන ක්‍රියාකාරීත්වයට අනුව තමන්ගේ සහකරුවා හෝ සහකාරියව සොයාගන්නේ. කැලේ ඉන්න සත්තු නම් සතුන් දඩයම් කරගන්නේ සහජ පුරුදු අනුවයි. අනෙක් පුරුදු නම් පුහුණු කළ දේවල්. මේ දේවල් බොහෝ විට මිනිසුන් ඇසුරට පත් වෙන සතුන් තුල සිදුවන්නක්.

මේ හැම දේකදීම සිදුවන්නේ සතුන්ගේ ශරීරය තුළ සිදුවන හෝමෝන හා වෙනත් රසායනික උත්තේජනයන්ට ප්‍රතිචාර දැක්වීමයි. එවැනි උත්තේජනයන් විසින් ලබා දෙන සංඥාවලට ප්‍රතික්‍රියා කිරීමයි සතුන් කරන්නේ. තිරිසන් සතුන් කියන්නේ ප්‍රධාන වශයෙන් එවැනි සංඥා තුනකට ප්‍රතික්‍රියා දක්වමින් ජීවත්වන්නන්. ඒ තමයි ආහාර සපයා ගැනීම, ප්‍රජානනය හා ආරක්ෂාව සම්බන්ධව හුරුවූ සංඥාවලට මූලික වශයෙන් ප්‍රතිචාර දැකිවීම. ඉව මඟින් සමහර දේවල් හඳුනාගන්නෙත් එවැනිම වූ සංඥාවකට ප්‍රතිචාර දැකිවීමක් හැටියටයි. ඉතින් මේ අනුව පැහැදිලියි සත්තු වැඩ කරන්​නේ හිතා මතා නොවන බව.

ශ්‍රමය වගුරවන්නේ කොහොමද?
කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනයේදී එයට ශ්‍රමය වැගිරවීමේ හැකියාව විතරක් තිබුණට මදි. මෙහෙම හිතමු. ගව්මක් මහන්න අපිට ඕනා. ගවුම මහන හැටි අපි දන්නවා. හැබැයි දැනගත්තට විතරක් ක්‍රියාවට නගන්න බෑ. උදව්වට සමහර උපකරන ප්‍රමාණයක් අත්‍යාවශ්‍යයි. අපිට රෙද්ද කපන්න කතුරක් අවශ්‍යයි. ඊට පස්සෙ මහන්න ඉදිකටුවක් හෝ මැෂිමක් අවශ්‍යයි. බතක් උයන්න ගියත් උයන්න දැනගත්තට මදි. බත උයන්න ලිපක් ඕනා, වලඳක් ඕනා, හාල් හෝදන්න භාජනයක් ඕනා.

මේ විදිහට කිසියම් අමුද්‍රව්‍යයක් මත ශ්‍රමය වගුරවන්න ගියාම උදව් කරගන්න සිද්ධ වෙන උපකරණ ප්‍රමාණයක් හැම නිෂ්පාදනයකදීම තියෙනවා. අපි ඒ උපකරන වලට කියනවා ශ්‍රම මාධ්‍ය කියලා. ඒ කියන්නේ අමුද්‍රව්‍ය මත ශ්‍රමය වැගිරවීමට උපයෝගී කරගන්නා උපකරන ශ්‍රම මාධ්‍ය හැටියට හඳුන්වන්න පුළුවන්. මෙව්වට නිෂ්පාදන උපකරන කියලත් කියනවා. ප්‍රාථමික සාමූහික සමාජයේ ආරම්භයේදී නිෂ්පාදන උපකරන වුණේ දෑත්. ගහක ගෙඩියක් කඩා ගත්තෙත්, කුඩා කුඩා සතුන් මරා ගත්තෙත් දෑත් වලින්. පස්සෙ දෑත වෙනුවට දෑතේ හයියට පොල්ල භාවිතා කළා. පොල්ල හෙල්ල බවට පත්තරගත්තා. මිනිස්සු අත්දැකීම් මඟින් නිෂ්පාදන උපකරන දියුණු කර ගත්තා. සමාජය ඉස්සරහට ඇදුනේ මේ විදිහට සිදුවුණු නිෂ්පාදන උපකරන වල දියුණුවත් ඒකෙන් ඇති කළ නිෂ්පාදනයේ දියුණුවත් සමගයි.

ශ්‍රමය වැගිරවීමේ හැකියාවත්, නිෂ්පාදන උපකරනත් තිබූ පමණින් නිෂ්පාදනයක් කළ හැකිද? ශ්‍රමයේ කතාව-05න් නැවත හමුවෙමු.

Monday, October 24, 2011

ශ්‍රමයේ කතාව-03

නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියල මූලික හඳුනාගැනීමක් දැන් ඔබට තියෙනවා. ඒත් යම්කිසි නිෂ්පාදනයක් කිරීමේදී අත්‍යාවශ්‍ය මූලික සාධක කිහිපයක් තියෙනවා.
(1) ශ්‍රමය
(2) ශ්‍රම මාධ්‍ය
(3) ශ්‍රම විෂය
මේ සාධකවලින් ශ්‍රමය කියන්නේ මොකක්ද කියලයි අද අපි හඳුනාගන්න උත්සාහ කරන්නේ. ඒක තේරුම් නොගෙන අනෙක් සාධක ගැන කතා තරන්න අමාරුයි.

"ශ්‍රමය" කියන්නේ මොකක්ද?
මිනිසුන්ට විවිධ අවශ්‍යතා තියෙනවා. එක් එක් අවස්ථාවන් අනුව මතුවෙන අවශ්‍යතායවන් වෙනස්. ඒ ඕනෑම විටක මතුවෙන අවශ්‍යතාවය මත එය ඉටුකර ගැනීමට මිනිසා සැලැස්මක් සකසනවා. ඒ කිව්වේ තමන්ගේ අරමුණු ඉටුකර ගැනීමට අවශ්‍ය සැලැස්ම සකස්කර ගන්නවා. ඊට පස්සේ ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. සැලැස්මක් ක්‍රියාවට නගද්දී මිනිසුන්ට කායිකව වගේම මානසිකවත් වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා.

මෙන්න මේ විදිහට තමන්ගේ අරමුණු ඉටුකර ගැනීම උදෙසා දැනුවත්ව කය හා මනස වෙහෙසවමින් සැලැස්ම ක්‍රියාවට නැගීමට දරනු ලබන වෙහෙස අපි ශ්‍රමය කියල හඳුන්වනවා. මේකෙන් අපිට පැහැදිලියි ශ්‍රමය වගුරුවන්න යම් අරමුණක් තිබිය යුතුයි. ඒකට සැලැස්මක් තිබිය යුතුයි. සැලැස්මක් සකස් කරන්නේ හොඳට හිතල. ඒ කියන්නේ විඥානයක් සහිත ක්‍රියාවලියක් තමයි ශ්‍රමය කියන්නේ.
දැන් අපිට මේක තවත් කැටි කරල මේ විදිහට කියන්න පුළුවන්. "ශ්‍රමය" යනු මිනිස් අවශ්‍යතා සපුරාලීමේ අදහසින් අප අවට පරිසරයේ පවතින දෙයක් මිනිසාට ප්‍රයෝජනවත් දෙයක් බවට වෙනස් කිරීම ඉලක්ක කරගත් අරමුණු සහගත ක්‍රියාකාරීත්වයයි.

මිනිසා බිහිවුනු මුල්ම කාලයේදී තිබුණු ලොකුම අවශ්‍යතාවය බඩගිනි නිවාගැනීමයි. ඒකට ඔවුන් විවිධ උපක්‍රම තේරුවා. ඒවා ක්‍රියාවට නැගුවා. මුලින්ම ගස් වල ගෙඩි කඩාගෙන කෑවා. පස්සේ සතුන් දඩයම් කළා. සතුන් දඩයම් කරන්න සැලසුම් හැදුවා. මුලින්ම වට කරල පොලු වලින් ගහල සතුන් මැරුවා. පස්සෙ කාලෙක උගුල් ඇටෙව්වා. ඒ හැම දෙයක්ම කළේ සැලැස්මකට අනුවයි. ශ්‍රම ක්‍රියාකාරීත්වයෙන් අලුත් අත්දැකීම් එකතු කරගැනීමට මිනිසුන්ට හැකියාව ලැබුණා. ඒ නිසා සතෙක් දඩයම් කරන විදිහත් හැමදාම එකම විදිහට සිද්ධවුනේ නෑ. අත්දැකීම් විසින් දියුණු උපක්‍රම තේරීම සඳහා බලකළා. එදා අතපය භාවිතා කළ බොහෝ දේවල් වලට අද යන්ත්‍ර සූත්‍ර ආදේශ වෙලා. ඒත් ඒවා මෙහෙය වීමට නැවතත් මිනිස් ශ්‍රමය අවශ්‍යමයි.

"ශ්‍රමය" සවිඥානික ක්‍රියාවලියක්ද?
අපි හිතුවොත් අපි අතේ පිහියක් තියෙනවා. අපි ඉන්න තැන තරමක පැලයකුත් තියෙනවා. අපි වෙන දෙයක් ගැන කතා කර කර ඉන්න ගමන් හෝ ලොකු කල්පනාවක ඉන්න ගමන් පිහියෙන් පැලයට කොට කොටා ගිහින් ගහ කැපිලා ගහ බිමට ඇදගෙන වැටුනා කියල හිතමු. මේක ශ්‍රම ක්‍රියාවලියක්ද? නෑ..... එහෙම නෑ. මේ ගහ කපන්න හේතුවක් නෑ. එහෙම සැලැස්මක් අපිට තිබුණේ නෑ. සිද්ධවුනේ කල්පනාවකින් තොරව ගහ කැපුණු එකයි. ඒ කිව්වේ ගහ කැපුනේ අවිඥානික ක්‍රියාවක් නිසයි.

ඔන්න අපි හිතුවොත් ඒ පැළය තියෙන් තැන අපිට එළවළු පාත්තියක් හදාගන්න ඕනා, ඒකට පැළය බාධාවක් කියල. අන්න ඊට පස්සේ අපිට සැලැස්මක් තියෙනවා පැළය ඉවත් කරන්න. ඒ සැලැස්මට අනුව නම් පැලය ඉවත් වෙන්නේ, ඒ ක්‍රියාවලිය සවිඥානිකව සිද්ධවුනු එකක්. ඒ වගේම අරමුණක් සහිත නිසා ඒක ශ්‍රමය වැගිරවීමක්.

දැන් මේ විදිහට කතා කරගෙන යනවිට ප්‍රශ්නයක් මතු වෙනවා. සතුන් කරන දේවල් ශ්‍රමය වැගිරවීම් නොවෙයිද කියල. සතුන්ට හිතන්න බැරිද? ශ්‍රමයේ කතාව-04න් හමුවෙමු.

Friday, October 21, 2011

ශ්‍රමයේ කතාව-02

සමාජය ගොඩනැගිල තියෙන්නේ නිෂ්පාදනය මූලික කරගෙනයි. ඒ කියන්නේ සමාජයේ පදනම නිෂ්පාදනයයි.

නිෂ්පාදනය කියන්නේ මොකක්ද?
නිෂ්පාදනය කියන්නේ අප අවට පවතින දේවල් අපේ අවශ්‍යතාවයට ගැලපෙන දෙයක් පවට පත්කිරීමයි කියල කෙටියෙන් කියන්න පුළුවන්. තවත් විදිහකින් කිව්වොත් තමන්ගේ අවශ්‍යතාවයන් සපුරාගැනීම උදෙසා තමා අවට ඇති දේ පරිභෝජන භාණ්ඩයක් බවට පරිවර්තනය කිරීමයි. යමෙක් යමක් නිෂ්පාදනය කළහොත් අනිවාර්යයෙන්ම ඒක මිනිසුන්ට ප්‍රයෝජනයට ගතහැකි දෙයක් විය යුතුයි. කෙටි අදහස නම් පරිසරයේ තියෙන ඕනෑම දෙයක් වෙනස් දෙයක් බවට පරිවර්තනය කළ පමණින් එය නිෂ්පාදනයක් වෙන්නේ නෑ.කොස් ගහක් කපල දැව වලට ඉරුවොත් ඒක නිෂ්පාදනයක්. ඒත් කොස් ගහ කපල දිරන්න ඇරියොත් ඒක නිෂ්පාදනයක් වෙන්නේ නෑ. ඒක විනාශයක් විතරයි. ඒ වගේම තමයි ගඩොල් කපන අයෙක් ඒ සඳහා පස් ටිකක් කපල දැම්මොත් ඒක නිෂ්පාදනයක්. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? නිෂ්පාදනයක් නම් මිනිසුන්ට ප්‍රයෝජනයට ගත හැකි දෙයක් බවට පත් වී තිබිය යුතුයි. ස්වභාවික පරිසරයේ පවතින දෙයක් පමණක්ම නොවෙයි නිෂ්පාදනයන් සඳහා යොදවා ගන්න පුළුවන්. එක් නිෂ්පාදනයක් තවත් නිෂ්පාදනයකට යොදවා ගන්නත් පුළුවන්. අපි ඒවට අමුද්‍රව්‍ය කියල කියනවා. ගහකින් ලී ඉරල ගත්තහම දැව අපට අමුද්‍රව්‍යයක් වෙනවා. ඒත් ඒවායින් පරාල හෝ රීප්ප ඉරාගත්තහම ඒක ඒ දැව වලින් ලබාගන්නා නිෂ්පාදනය වුවත් වහලක් තැනීම සඳහා යොදාගන්නා ද්‍රව්‍යයක් නිසා නැවත රීප්ප හා පරාල අමුද්‍රව්‍යයක් බවට පත් වෙනවා.
කපු පුළුන් වලින් නූල් නිපදවද්දී නූල් යනු නිෂ්පාදනයක්. පුළුන් යනු අමුද්‍රව්‍යයක්. නූල් වලින් රෙදි වියද්දී ආපසු නූල් අමුද්‍රව්‍යයක් වෙනවා. රෙදි යනු නිෂ්පාදනයක් වෙනවා. නැවතත් ඒ රෙදි වලින් ඇඳුම් මහද්දී රෙදි අමුද්‍රව්‍යයක්. ඇඳුම් නිෂ්පාදනයක්.
අපි කිව්වා යමක් නිෂ්පාදනය කළහොත් එය මිනිසුන්ට ප්‍රයෝජනයට ගතහැකි දෙයක් බවට පත් වී තිබිය යුතුයි කියල. දැන් අපි හිතමු තෙල් පිරිපහදුවේදී අපද්‍රව්‍ය ලෙස බැහැර කරන කාබනික ද්‍රව්‍ය නැවත ගෑස් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යයක් ලෙස යොදාගන්න පුළුවන්. එහෙම යොදා ගන්නවානම් එම කාබනික ද්‍රව්‍ය යනු තෙල් පිරිපහදුවේදී අතුරු නිෂ්පාදනයක් වෙනවා. ඒවා ගෑස් නිෂ්පාදනයට ​නොගෙන බැහැර කරනවා නම් ඒක අපද්‍රව්‍යයක් පමණයි.


සත්තු නිෂ්පාදනය කරනවාද?
සත්තුත් නොයෙකුත් දේවල් නිර්මාණය කරනවානේ. උන් විවිධ ද්‍රව්‍ය භාවිතා කරමින් කූඩු හදනවා. විවිධ හැඩ වලින් කූඩු හදනවා. වේයෝ පස් අරගෙන තුඹස් බඳිනවා. කොට්ටෝරුවා ගස් වලට කොටල කොටල බෙන හාරගන්නවා. මේ විදිහට නොයෙකුත් නිර්මාණාත්මක දේවල් හදනවා. ඒත් අපි ඒවාට නිෂ්පාදන කියල කියනවාද? නෑ. අපි කවදාවත් වඩු කුරුල්ලා කූඩු නිෂ්පාදනය කරගෙන කියල කියන්නේ නෑ. ඒ ඇයි?
ඒකට හේතුවක් තියෙනවා. නිෂ්පාදනය කියන වචනයේ අර්ථ කථනය සම්පූර්ණ වෙන්න නම් ශ්‍රමයත් එකතු වෙන්න ඕනා. අරමුණුසහගතව ශ්‍රමය වැගිරවීමකින් තමයි නිෂ්පාදනයක් සිද්ධ වෙන්නෙ. සතුන්ට අරමුණු තියෙනවාද? උන් කූඩු හදන්න ශ්‍රමය වගුරවනවාද? නෑ. උන් කරන්නේ පුරුදු හැටියට කූඩු හැදීමයි. සහජ පුරුද්දට කූඩු බැඳීමයි. ඒවා (සවිඥානිකව) දැනුවත්ව හිතා මතා කරන නිපදවීමක් නොවෙයි. අරමුණු සහගත ශ්‍රමය වැගිරීමක් නොවෙයි. ඒ නිසා ඒක නිෂ්පාදනයක් වෙන්නේ නෑ.
මේ කතාව තව දුරටත් පැහැදිලි කරගන්න නම් ශ්‍රමය කියන වචනයේ නියම අර්ථය පැහැදිලි කරන්න වෙනවා. ශ්‍රමයේ කතාව-03 තුලින් අපි නැවත හමුවෙමු.


ශ්‍රමයේ කතාව-01

" මිනිස් රංචුව තම රංචුව තුල වන විවිධ සංස්කෘතික අංගයන්...... "

මේ වැකිය කියවන කොට ඔබට මොනවද හිතුනෙ...? ඒක තේරුම් කරන්න කලින් මෙන්න මේ වැකියත් කියවලා බලමු.

" මේ කාලයේ කුරුළු සමාජය සංචාරයේ යෙදෙන....."

මොකද හිතෙන්නේ? වාක්‍ය දෙක පැටලිලා වගේ කියල හිතෙනවද? ඔව්. ඇත්තටම ඒ වාක්‍ය තුල වචන නොගැලපීමත් තිබෙනවා. අපි කවදාවත් අන්‍යෙන්‍යය බැදීමක් සහිතව ජීවත්වන මිනිස් සමූහයකට රංචුව කියල කියන්නේ නෑ. ඒකට අපි භාවිතා කරන්නේ සමාජය කියන වචනයයි. ඒ වගේ කුරුල්ලෝ හෝ වෙනත් සතුන් හෝ එකට ඒකරාශී වී සිටිනවා නම් අපි ඒකට කියන්නේ නෑ සමාජය කියල. එතනදී අපි කියන්නේ රෑන, රංචුව හෝ රැල වගේ වචනයක්.
ඉතින් අපි හැමදාමත් එහෙම කියපු නිසාමද මේ වචන මාරුකරල භාවිතා කළාම නොගැලපෙනවයි කියන්නේ?
නෑ... ඒ නිසාම නොවෙයි. මේ වචනවල වෙනස්කමක් තියෙනවා.

සතුන් රංචු ලෙස සිටින්නේ ඇයි....?
වෙනත් සතුන්ගෙන් ආර​ක්ෂාවීමට රංචු ලෙස සිටීම වැදගත් වෙනවා. ඒ වගේම එක ප්‍රදේශයක කෑම හිග වුණාම තවත් ප්‍රදේශයකට ගමන් කරන්න වෙනවා. එතකොටත් රංචුවක් හැටියට ඉන්න එක වැදගත්. සමහර සතුන් ලිංගික සංසර්ගයේ යෙදෙන කාල වලදී රංචු ලෙස ජීවත් වෙනවා. මෙන්න මේවගේ කාරණා නිසා තමයි සතුන් රංචු හැටියට ජීවත්වෙන්නේ.
කූඩුවක් හදාගන්න ඕනවුණාම හැම කුරුල්ලම තමන්ට තනියම කූඩුවක් හදා ගන්නවා. තමන්ට කෑම ඕන වුණාම රංචුවක් හැටියට හිටියා වුවත් ගෙඩියට හොට ගහල තනියම කන්න පුළුවන්. කොටියෙක් වගේ සතෙක් ගත්තත් ඌට පුළුවන් සතෙක්ගෙ ඇගට පැනල මරාගෙන මස් කන්න. ඒකට වෙන කාගෙවත් බාහිර සහයෝගයක් අවශ්‍ය කරන්නේ නෑ.


මිනිස්සුන්ට තනිවම අවශ්‍යතා සපුරාගත හැකිද?
මිනිසා බිහිවුනේ දියුණු වූ වානර විශේෂයකින් කියල අපි දන්නවා. ඉතින් ඒ විදිහට බිහිවුන මුල්ම යුගයේ මිනිසාට අභියෝග ගනනාවක් තිබුණා. එයාලා ආහාරයට ගත්තේ මුලින්ම ගස්වල ගෙඩි. එත් මිනිසා කියන්නේ අනෙක් සතුන්ට වඩා වෙනස් ස​තෙක්. සතුන් පුරුද්දට අනුවයි හැම දෙයක්ම කරන්නේ. කෑම වුනත් එහෙමයි. පළතුරු පුරුදුවුන සතා පළතුරු විතරමයි කන්නේ. වෙන දේවල් කන්නේ නෑ. එත් මිනිසා එහෙම වුනේ නෑ. එයා පළතුරු කන අතරේ වෙනත් දේවල් කන්න හෙව්වා. ඒ අනුව එයාලා සතුන් දඩයම් කරන්න පටන්ගත්තා. ඒත් සතුන් දඩයම් කරද්දී කොටියෙක් හරි, වෘකයෙක් හරි, නරියෙක් හරි ඒ දේ කරන විදිහට කරන්න ශක්තියක්, හැකියාවක් මිනිසාට තිබුනේ නෑ. ඉතින් ඒ අය කළේ පිරිමි සමූහයක් හැටියට සතෙක් හැම පැත්තෙන්ම වට කරලා ඌව බය කරලා ගල් මුල් වලින් ගහල සතා මරාගත් එක. මේ විදිහට සමහර සතුන් තවත් සතෙක් දඩයම් කරගැනීම කරනවා. ඒත් උන් හැමදාමත් ඒ විදිහටම කරනවා මිසක් එතනින් එහාට උපක්‍රම තේරුවේ නෑ. ඒ කියන්නේ සතුන් ඒ දේවල් කළේ පුරුද්දට. ඒත් මිනිස්සු ටික කලකින් දඩයමට උපක්‍රම හෙව්වා. ගලකින් හෝ පොල්ලකින් ගහල සතෙකුට තුවාල කරනවාට වඩා ගල හෝ පොල්ල කෙලවර තියුණු කිරීමෙන් සතෙකුට තුවාල කිරීමට පහසු බව අත්දැකීමෙන් හොයාගත්තා. ඔවුන් ඒ අනුව ගල් ආයුද, හෙල්ල වැනි දේවල් නිපදවා ගත්තා. ඒ හැම දෙයක්ම කෙනෙක් තනියම කරපු දේවල් නොවෙයි. එකිනෙකාගේ අත්දැකීම් එකතුකරගෙන කළ දේවල්.
ඒ වගේම තමයි. එදා සමාජයේ ශ්‍රම විභජනයක් තිබුණා. විශේෂයෙන්ම ගැහැනිය හා පිරිමියා අතර. පිරිමියා දඩයමේ යද්දි ගැහැණිය දරුවන් රැකබලා ගත්තා. ගෙනා ආහාර කණ්ඩායම අතර බෙදා දීමත් කලේ කාන්තාව විසිනුයි. මේ විදිහට ප්‍රාතමික සමාජය තුළත් මිනිසුන් අතර බැදීමක් තිබුණා. ඒක ඔවුන්ගේ පැවැත්මට අත්‍යාවශ්‍ය වුණා.
මිනිසාගේ පැවැත්ම තහවරු වුනේ ශ්‍රම විභජනයක් සහිතව සාමූහිකව ජීවත් වීම තුලයි. මිනිසා ලබපු හැම ජයග්‍රහනයකටම හේතුව සාමුහිකව ජීවත්වීමයි. එකිනෙකා අතර අන්තර් සම්බන්ධතා සමග මෙලෙස ජීවත්වන සමූහයකට කියන වචනය තමයි සමාජය කියන්නේ. ඉතින් සත්තුන්ට මෙවැනි සමාජයක් නෑ. සත්තු රංචු ගැසෙනකොට මිනිස්සු සමාජගත වෙනවා. මිනිසා කියන්නේ සමාජ සත්වයෙක් කියල දැන් ඔබට පැහැදිලියි නේද?