Sunday, February 26, 2012

ශ්‍රමයේ කතාව - 06

නිෂ්පාදන සාධක ගැන තව දුරටත් කතා කිරීම.....
නිෂ්පාදන සාධක හැටියට අපි හදුනාගත්තේ ශ්‍රමය, ශ්‍රම විෂය හා ශ්‍රම මාධ්‍යයයි. මේ සාධක සියල්ලම ද්‍රව්‍යමය නිෂ්පාදනයේදී ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ද්‍රව්‍යමය සාධක හා පුද්ගල සාධක හැටියට. මොනවද මේ ද්‍රව්‍යමය සාධක? භාණ්ඩ නිෂ්පාදනයේදී මිනිසුන් විසින් උපයෝගී කරගන්නා අජීවී වස්තූන් මේ ගනයට වැටෙනවා. පුද්ගල සාධක කියන්නේ මිනිසුන් විසින් එකතු කරන තම පුද්ගල ශක්තියයි. ඒක සජීවී සාධකයක්. දැන් ඒවා ගලපන්න බලමු.
මේ සාධක වලින් ශ්‍රම විෂය හා ශ්‍රම මාධ්‍යය යන දෙකම ද්‍රව්‍යමය සාධක වන අතර ඒවාට ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන මාධ්‍ය කියල කියනවා. අපි කලින් නිෂ්පාදන සාධකයක් හැටියට "ශ්‍රමය" හැදින්වුවත් ඇත්තටම නිෂ්පාදනයට උපයෝගී වන පුද්ගල සාධකය වන්නේ ශ්‍රම ශක්තියයි. ඒ අනුව ඉහත සමීකරනය අපට පහත පරිදි දක්වන්න පුළුවන්.
දැන් අලුත් වචනයක් සමීකරනයට එකතු වෙලා. නිෂ්පාදන බලවේගය. අලුත් වුනාට තේරුම් ගන්න අමාරු නෑ. නිෂ්පාදන සාධක වලටම තමයි නිෂ්පාදන බලවේගය කියලා හදුන්වන්නේ.

ශ්‍රම ශක්තිය කියලා කියන්නේ මොකක්ද?
අපි නිෂ්පාදන සාධක ගැන කතා කරද්දි මුලින්ම කතා කළේ "ශ්‍රමය" ගැනයි. ඒත් දැන් ශ්‍රමය වෙනුවට ශ්‍රම ශක්තියයි අප එකතු කළේ. ඒ ඇයි? ශ්‍රම ශක්තිය කියන්නේ මිනිසුන් සතු ශ්‍රමය වැගිරවීමේ හැකියාවයි. ඒ කිව්වේ යම් කිසි කාර්යයක් කිරීමට මිනිසාට ඇති ශක්තියයි. මෙන්න මේ හැකියාව ක්‍රියාවට නැගීමෙන් ලැබෙන ප්‍රතිපලය තමයි "ශ්‍රමය" කියන්නේ. ඒ නිසා ශ්‍රමය හැටියට කතා කරනවාට වඩා "ශ්‍රම ශක්තිය" හැටියටයි නිෂ්පාදන සාධක හදුනාගැනීමයි නිවැරදි වන්නේ.
අප ඉහත සාධක ගැන කතා කරද්දි ද්‍රව්‍යමය නිෂ්පාදනයක් ගැන සඳහන් කළා. එහෙමනම් නිෂ්පාදනය තවත් කොටස් වලට බෙදෙන බව එයින් හැඟවෙනවා. ඔව්. නිෂ්පාදනය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි භාණ්ඩ (ද්‍රව්‍යමය) නිෂ්පාදනය හා සේවා (ද්‍රව්‍යමය නොවන) නිෂ්පාදනය ලෙස.

භාණ්ඩ නිෂ්පාදනය යනු....
අපි මෙතෙක් උදාහරණ බොහෝමයක්ම අරගත්තේ මේ භාණ්ඩ නිෂ්පාදනයෙන්. සෘජුවම පරිභෝජනයට ගන්නා නිෂ්පාදිතයක් එකවර හෝ ක්‍රමයෙන් එහි ස්වරූපය වෙනස් වෙමින් එයින් බලාපොරොත්තු වූ පරිභෝජන හැකියාව අහිමි වී යයි නම් එය භාණ්ඩ නිෂ්පාදනයකි. උදාහරණ විදිහට පාන්, පොත්පත්, ඇඳුම්, ගෘහ භාණ්ඩ, යන්ත්‍රසූත්‍ර,....

සේවා නිෂ්පාදනය යනු....
මෙහිදී භාණ්ඩ නිෂ්පාදනයේදී මෙන් නිෂ්පාදිතය පරිභෝජනයෙන් අනතුරුව ක්ෂය වෙන්නේ නෑ. එය තවදුරටත් ගුණාත්මකව වර්ධනය වෙමින් හෝ ඉදිරියටත් පරිභෝජනය කිරීමේ හැකියාව සහිතව පවතිනවා. ඒත් මේ සේවාව නිපදවීම සඳහා උපයෝගීකරගත් ද්‍රව්‍යමය සාධක ක්ෂයවීමට හැකියි. උදාහරණ විදිහට ප්‍රවාහන සේවය, සෞඛ්‍ය සේවය,...

ප්‍රවාහන සේවය සලකන විට ඒ සඳහා යොදා ගන්නා වාහන, මාර්ග, සංඥා පද්ධති, ආදී බොහෝ දෑ ක්ෂය විය හැකියි. එවිට ඒවා අලුත් වැඩියා කිරීමට හෝ අලුතින්ම නිපදවීමට සිදුවෙනවා. මේ සඳහා රියදුරෙකුගේ සේවය අත්‍යාවශ්‍ය වෙනවා. ඒත් ප්‍රවාහන සේවය යනු රියදුරාගේ සේවයම නොවෙයි. ඔහු එකතු කරන්නේ ඔහුගේ ශ්‍රම ශක්තියයි. එය සේවයක් බවට පත්වීමට ඉහත කී පරිදි වාහනයක් හා මාර්ගයක් අත්‍යාවශ්‍ය වෙනවා.
නිෂ්පාදනය, නිෂ්පාදන සාධක, නිෂ්පාදන බලවේගය ගැන සාකඡ්ඡා කළ පසුව අප ඊළඟට අවධානය යොමුකළ යුත්තේ නිෂ්පාදනයේදී මිනිසුන් අතර පවතින සබඳතා පිළිබඳවයි.ශ්‍රමයේ කතාව-07න් අපි ඒ ගැන කතා කරමු.

Wednesday, November 30, 2011

ශ්‍රමයේ කතාව - 05

නිෂ්පාදනයක් කරන්න නම් ශ්‍රමය වැගිරීමක් අවශ්‍යමයි. ඒ පිළිබඳව අපි ඉගෙනගත්තා. නිෂ්පාදනයක් කරන්න ශ්‍රමය තිබුණාම ප්‍රමාණවත්ද? මේ ලිපියෙන් කතා කරන්නේ ඒ පිළිබඳවයි.

වළං හදන්න දැනගත්ත පමණින් වලං හදන්න පුළුවන්ද?
බැහැ. එක කරන්න නම්
ඒකට අපිට තව දේවල් ටිකක් ඕන කරනවා. මෙහෙම හිතමු. කෙනෙක් ඉන්නවා. එයා දන්නවා වළං හදන්න. නමුත් එයාට වළං හදන්න නම් මැටි අවශ්‍යයි. වළං හදන කෙනා එහෙම නැත්නම් කුඹල්කරුවා මේ මැටි ටික පදමට අනලා සකපෝරුව යොදාගෙන වළං හදනවා. නැත්නම් වෙනත් මැටි භාණ්ඩයක් හෝ විසුතුරු භාණ්ඩයක් හෝ හදනවා.

අපි හිතමු තවත් කෙනෙක් ඉන්නවා ලී බඩු හදන්න දන්න කෙනෙක්. ඒත් ලී බඩුවක් හදන්න නම් එයාට දැව අවශ්‍ය වෙනවා. ඒ වගේම තවත් කෙනෙක් දැව නිපදවන්න දන්නවා. හැබැයි ඒක කරන්න එයාට කැපූ ගසක් අවශ්‍යයි. ඒකට ගහ කපන්න දන්න කෙනෙක් හිටියට මදි. කපන්න ගහක් තියෙන්නත් ඕනා.

මේ හැම දෙයකින්ම පැහැදිලි වෙන්නේ කුමක්ද? යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න මූලික ද්‍රව්‍ය ටිකක් අවශ්‍ය බව අපට පෙනුනා. අපි මේවාට කියනවා අමුද්‍රව්‍ය කියලා. එතකොට භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න අමුද්‍රව්‍ය අවශ්‍යයි. ඒ කියන්නේ ශිල්පය දන්න කෙනා තමාගේ ශිල්පීය හැකියාව නැත්නම් ශ්‍රමය වැගිරවීමේ හැකියාව එහෙමත් නැත්නම් ශ්‍රම ශක්තිය අමුද්‍රව්‍ය මත හෙලුවාම ඒකෙන් අවශ්‍ය භාණ්ඩය නිපදවාගන්න පුළුවන්. කුඹල්කරුවාට අදාළව අපි මේක කතා කළොත් මැටි පිඬක් මත කුඹල්කරුවා තම ශ්‍රමය වගුරවන්නේ නම් ඒකෙන් වළං හදාගන්න ඔහුට පුළුවන්. මේක තවත් විදිහකින් කියනවා නම්, කුඹල්කරුවා වළං හැදීම සඳහා තම ශිල්පීය හැකියාව නැතහොත් ශ්‍රම ශක්තිය වගුරවන්නේ කුමක් මතද? මැටි පිඬක් මතයි. අපි ඉහත පැහැදිලි කිරීමට අනුව ගතහොත් මැටි කියන්නේ අමුද්‍රව්‍යයක්. ඒ වගේම අපි ඒකට ආර්ථික විද්‍යාවේදී තවත් නමක් කියනවා. ඔහු ශ්‍රමය වගුරවන්නේ මැටි පිඬ මතය. එනම් ඔහුගේ ශ්‍රමයට හසුවන්නේ නැතිනම් ශ්‍රමයට විෂය වන්නේ මැටි පිඬය. එම නිසා අපි මේවාට අමුද්‍රව්‍ය නොකියා ශ්‍රම විෂය කියලා භාවිතා කරනවා.

ඇයි අමුද්‍රව්‍ය කියලාම භාවිතා කරන්න බැරිද?
ඇත්තටම අමුද්‍රව්‍යයක් කියන්නේ සොබා දහමෙන් පළමු වරට මිනිසාගේ ශ්‍රමයට හසුවන ද්‍රව්‍යවලටයි. ගස් කපන්නාට ගහ අමුද්‍රව්‍යයක්. හැබැයි කැපූ ගහ ඔහු විසින් නිෂ්පාදනය කළාට පස්සේ දැව ඉරන්නා ශ්‍රමය වගුරවන්නේ කැපූ ගහ මත නැත්නම් නිෂ්පාදිතයක් මත. මෙහිදී කෙරෙන්නේ නිෂ්පාදනයක් මගින් නැවත නිෂ්පාදනයක් කිරීම නැත්නම් ප්‍රතිනිෂ්පාදනයක් කිරීමයි. මේ අනුව එක්වරකදී අමුද්‍රව්‍යයක් නිෂ්පාදනයට යොදාගන්නා අතර තවත් වරකදී නිෂ්පාදනයක් නැවත නිෂ්පාදනයට යොදා ගැනීමක් සිදු වෙනවා. ඒ නිසා නිෂ්පාදනයට යොදාගන්නා ද්‍රව්‍යයට යොදන නම අමුද්‍රව්‍යයක්ම කියන්න අපට බෑ. ඒ නිසා මේ හැම එකකටම පොදුවේ භාවිතා කරන්න පුළුවන් වචනයක් තමයි ශ්‍රම විෂය කියන්නේ.
මැටි නැත්නම් කුඹල්කරුවෙක් සිටීද?
මැටි නැතිනම් කුඹල්කරුවාට ශ්‍රමය වැගිරීමට ශ්‍රම විෂයක් නැති නිසාම ඔහුට කුඹල්කරුවෙක් වීමටත් බැහැ. ගසක් නැති තැන ගස් කපන්නෙක් සිටින්නත් බැහැ. ගස් කපන්නෙක් සිටියත් ගසක් තිබුණත් ගස් කපන්න පුළුවන්ද?
මේ ගැන ඉදිරියේදි කතා කරමු.