වළං හදන්න දැනගත්ත පමණින් වලං හදන්න පුළුවන්ද?
බැහැ. එක කරන්න නම් ඒකට අපිට තව දේවල් ටිකක් ඕන කරනවා. මෙහෙම හිතමු. කෙනෙක් ඉන්නවා. එයා දන්නවා වළං හදන්න. නමුත් එයාට වළං හදන්න නම් මැටි අවශ්‍යයි. වළං හදන කෙනා එහෙම නැත්නම් කුඹල්කරුවා මේ මැටි ටික පදමට අනලා සකපෝරුව යොදාගෙන වළං හදනවා. නැත්නම් වෙනත් මැටි භාණ්ඩයක් හෝ විසුතුරු භාණ්ඩයක් හෝ හදනවා.
අපි හිතමු තවත් කෙනෙක් ඉන්නවා ලී බඩු හදන්න දන්න කෙනෙක්. ඒත් ලී බඩුවක් හදන්න නම් එයාට දැව අවශ්‍ය වෙනවා. ඒ වගේම තවත් කෙනෙක් දැව නිපදවන්න දන්නවා. හැබැයි ඒක කරන්න එයාට කැපූ ගසක් අවශ්‍යයි. ඒකට ගහ කපන්න දන්න කෙනෙක් හිටියට මදි. කපන්න ගහක් තියෙන්නත් ඕනා.
මේ හැම දෙයකින්ම පැහැදිලි වෙන්නේ කුමක්ද? යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න මූලික ද්‍රව්‍ය ටිකක් අවශ්‍ය බව අපට පෙනුනා. අපි මේවාට කියනවා අමුද්‍රව්‍ය කියලා. එතකොට භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න අමුද්‍රව්‍ය අවශ්‍යයි. ඒ කියන්නේ ශිල්පය දන්න කෙනා තමාගේ ශිල්පීය හැකියාව නැත්නම් ශ්‍රමය වැගිරවීමේ හැකියාව එහෙමත් නැත්නම් ශ්‍රම ශක්තිය අමුද්‍රව්‍ය මත හෙලුවාම ඒකෙන් අවශ්‍ය භාණ්ඩය නිපදවාගන්න පුළුවන්. කුඹල්කරුවාට අදාළව අපි මේක කතා කළොත් මැටි පිඬක් මත කුඹල්කරුවා තම ශ්‍රමය වගුරවන්නේ නම් ඒකෙන් වළං හදාගන්න ඔහුට පුළුවන්. මේක තවත් විදිහකින් කියනවා නම්, කුඹල්කරුවා වළං හැදීම සඳහා තම ශිල්පීය හැකියාව නැතහොත් ශ්‍රම ශක්තිය වගුරවන්නේ කුමක් මතද? මැටි පිඬක් මතයි. අපි ඉහත පැහැදිලි කිරීමට අනුව ගතහොත් මැටි කියන්නේ අමුද්‍රව්‍යයක්. ඒ වගේම අපි ඒකට ආර්ථික විද්‍යාවේදී තවත් නමක් කියනවා. ඔහු ශ්‍රමය වගුරවන්නේ මැටි පිඬ මතය. එනම් ඔහුගේ ශ්රමයට හසුවන්නේ නැතිනම් ශ්රමයට විෂය වන්නේ මැටි පිඬය. එම නිසා අපි මේවාට අමුද්‍රව්‍ය නොකියා ශ්‍රම විෂය කියලා භාවිතා කරනවා.
ඇයි අමුද්‍රව්‍ය කියලාම භාවිතා කරන්න බැරිද?
ඇත්තටම අමුද්‍රව්‍යයක් කියන්නේ සොබා දහමෙන් පළමු වරට මිනිසාගේ ශ්රමයට හසුවන ද්‍රව්‍යවලටයි. ගස් කපන්නාට ගහ අමුද්‍රව්‍යයක්. හැබැයි කැපූ ගහ ඔහු විසින් නිෂ්පාදනය කළාට පස්සේ දැව ඉරන්නා ශ්‍රමය වගුරවන්නේ කැපූ ගහ මත නැත්නම් නිෂ්පාදිතයක් මත. මෙහිදී කෙරෙන්නේ නිෂ්පාදනයක් මගින් නැවත නිෂ්පාදනයක් කිරීම නැත්නම් ප්රතිනිෂ්පාදනයක් කිරීමයි. මේ අනුව එක්වරකදී අමුද්‍රව්‍යයක් නිෂ්පාදනයට යොදාගන්නා අතර තවත් වරකදී නිෂ්පාදනයක් නැවත නිෂ්පාදනයට යොදා ගැනීමක් සිදු වෙනවා. ඒ නිසා නිෂ්පාදනයට යොදාගන්නා ද්‍රව්‍යයට යොදන නම අමුද්‍රව්‍යයක්ම කියන්න අපට බෑ. ඒ නිසා මේ හැම එකකටම පොදුවේ භාවිතා කරන්න පුළුවන් වචනයක් තමයි ශ්‍රම විෂය කියන්නේ.
මැටි නැත්නම් කුඹල්කරුවෙක් සිටීද?
මැටි නැතිනම් කුඹල්කරුවාට ශ්‍රමය වැගිරීමට ශ්‍රම විෂයක් නැති නිසාම ඔහුට කුඹල්කරුවෙක් වීමටත් බැහැ. ගසක් නැති තැන ගස් කපන්නෙක් සිටින්නත් බැහැ. ගස් කපන්නෙක් සිටියත් ගසක් තිබුණත් ගස් කපන්න පුළුවන්ද?
මේ ගැන ඉදිරියේදි කතා කරමු.
No comments:
Post a Comment