Friday, October 21, 2011

ශ්‍රමයේ කතාව-02

සමාජය ගොඩනැගිල තියෙන්නේ නිෂ්පාදනය මූලික කරගෙනයි. ඒ කියන්නේ සමාජයේ පදනම නිෂ්පාදනයයි.

නිෂ්පාදනය කියන්නේ මොකක්ද?
නිෂ්පාදනය කියන්නේ අප අවට පවතින දේවල් අපේ අවශ්‍යතාවයට ගැලපෙන දෙයක් පවට පත්කිරීමයි කියල කෙටියෙන් කියන්න පුළුවන්. තවත් විදිහකින් කිව්වොත් තමන්ගේ අවශ්‍යතාවයන් සපුරාගැනීම උදෙසා තමා අවට ඇති දේ පරිභෝජන භාණ්ඩයක් බවට පරිවර්තනය කිරීමයි. යමෙක් යමක් නිෂ්පාදනය කළහොත් අනිවාර්යයෙන්ම ඒක මිනිසුන්ට ප්‍රයෝජනයට ගතහැකි දෙයක් විය යුතුයි. කෙටි අදහස නම් පරිසරයේ තියෙන ඕනෑම දෙයක් වෙනස් දෙයක් බවට පරිවර්තනය කළ පමණින් එය නිෂ්පාදනයක් වෙන්නේ නෑ.කොස් ගහක් කපල දැව වලට ඉරුවොත් ඒක නිෂ්පාදනයක්. ඒත් කොස් ගහ කපල දිරන්න ඇරියොත් ඒක නිෂ්පාදනයක් වෙන්නේ නෑ. ඒක විනාශයක් විතරයි. ඒ වගේම තමයි ගඩොල් කපන අයෙක් ඒ සඳහා පස් ටිකක් කපල දැම්මොත් ඒක නිෂ්පාදනයක්. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? නිෂ්පාදනයක් නම් මිනිසුන්ට ප්‍රයෝජනයට ගත හැකි දෙයක් බවට පත් වී තිබිය යුතුයි. ස්වභාවික පරිසරයේ පවතින දෙයක් පමණක්ම නොවෙයි නිෂ්පාදනයන් සඳහා යොදවා ගන්න පුළුවන්. එක් නිෂ්පාදනයක් තවත් නිෂ්පාදනයකට යොදවා ගන්නත් පුළුවන්. අපි ඒවට අමුද්‍රව්‍ය කියල කියනවා. ගහකින් ලී ඉරල ගත්තහම දැව අපට අමුද්‍රව්‍යයක් වෙනවා. ඒත් ඒවායින් පරාල හෝ රීප්ප ඉරාගත්තහම ඒක ඒ දැව වලින් ලබාගන්නා නිෂ්පාදනය වුවත් වහලක් තැනීම සඳහා යොදාගන්නා ද්‍රව්‍යයක් නිසා නැවත රීප්ප හා පරාල අමුද්‍රව්‍යයක් බවට පත් වෙනවා.
කපු පුළුන් වලින් නූල් නිපදවද්දී නූල් යනු නිෂ්පාදනයක්. පුළුන් යනු අමුද්‍රව්‍යයක්. නූල් වලින් රෙදි වියද්දී ආපසු නූල් අමුද්‍රව්‍යයක් වෙනවා. රෙදි යනු නිෂ්පාදනයක් වෙනවා. නැවතත් ඒ රෙදි වලින් ඇඳුම් මහද්දී රෙදි අමුද්‍රව්‍යයක්. ඇඳුම් නිෂ්පාදනයක්.
අපි කිව්වා යමක් නිෂ්පාදනය කළහොත් එය මිනිසුන්ට ප්‍රයෝජනයට ගතහැකි දෙයක් බවට පත් වී තිබිය යුතුයි කියල. දැන් අපි හිතමු තෙල් පිරිපහදුවේදී අපද්‍රව්‍ය ලෙස බැහැර කරන කාබනික ද්‍රව්‍ය නැවත ගෑස් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යයක් ලෙස යොදාගන්න පුළුවන්. එහෙම යොදා ගන්නවානම් එම කාබනික ද්‍රව්‍ය යනු තෙල් පිරිපහදුවේදී අතුරු නිෂ්පාදනයක් වෙනවා. ඒවා ගෑස් නිෂ්පාදනයට ​නොගෙන බැහැර කරනවා නම් ඒක අපද්‍රව්‍යයක් පමණයි.


සත්තු නිෂ්පාදනය කරනවාද?
සත්තුත් නොයෙකුත් දේවල් නිර්මාණය කරනවානේ. උන් විවිධ ද්‍රව්‍ය භාවිතා කරමින් කූඩු හදනවා. විවිධ හැඩ වලින් කූඩු හදනවා. වේයෝ පස් අරගෙන තුඹස් බඳිනවා. කොට්ටෝරුවා ගස් වලට කොටල කොටල බෙන හාරගන්නවා. මේ විදිහට නොයෙකුත් නිර්මාණාත්මක දේවල් හදනවා. ඒත් අපි ඒවාට නිෂ්පාදන කියල කියනවාද? නෑ. අපි කවදාවත් වඩු කුරුල්ලා කූඩු නිෂ්පාදනය කරගෙන කියල කියන්නේ නෑ. ඒ ඇයි?
ඒකට හේතුවක් තියෙනවා. නිෂ්පාදනය කියන වචනයේ අර්ථ කථනය සම්පූර්ණ වෙන්න නම් ශ්‍රමයත් එකතු වෙන්න ඕනා. අරමුණුසහගතව ශ්‍රමය වැගිරවීමකින් තමයි නිෂ්පාදනයක් සිද්ධ වෙන්නෙ. සතුන්ට අරමුණු තියෙනවාද? උන් කූඩු හදන්න ශ්‍රමය වගුරවනවාද? නෑ. උන් කරන්නේ පුරුදු හැටියට කූඩු හැදීමයි. සහජ පුරුද්දට කූඩු බැඳීමයි. ඒවා (සවිඥානිකව) දැනුවත්ව හිතා මතා කරන නිපදවීමක් නොවෙයි. අරමුණු සහගත ශ්‍රමය වැගිරීමක් නොවෙයි. ඒ නිසා ඒක නිෂ්පාදනයක් වෙන්නේ නෑ.
මේ කතාව තව දුරටත් පැහැදිලි කරගන්න නම් ශ්‍රමය කියන වචනයේ නියම අර්ථය පැහැදිලි කරන්න වෙනවා. ශ්‍රමයේ කතාව-03 තුලින් අපි නැවත හමුවෙමු.


No comments:

Post a Comment