Monday, October 24, 2011

ශ්‍රමයේ කතාව-03

නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියල මූලික හඳුනාගැනීමක් දැන් ඔබට තියෙනවා. ඒත් යම්කිසි නිෂ්පාදනයක් කිරීමේදී අත්‍යාවශ්‍ය මූලික සාධක කිහිපයක් තියෙනවා.
(1) ශ්‍රමය
(2) ශ්‍රම මාධ්‍ය
(3) ශ්‍රම විෂය
මේ සාධකවලින් ශ්‍රමය කියන්නේ මොකක්ද කියලයි අද අපි හඳුනාගන්න උත්සාහ කරන්නේ. ඒක තේරුම් නොගෙන අනෙක් සාධක ගැන කතා තරන්න අමාරුයි.

"ශ්‍රමය" කියන්නේ මොකක්ද?
මිනිසුන්ට විවිධ අවශ්‍යතා තියෙනවා. එක් එක් අවස්ථාවන් අනුව මතුවෙන අවශ්‍යතායවන් වෙනස්. ඒ ඕනෑම විටක මතුවෙන අවශ්‍යතාවය මත එය ඉටුකර ගැනීමට මිනිසා සැලැස්මක් සකසනවා. ඒ කිව්වේ තමන්ගේ අරමුණු ඉටුකර ගැනීමට අවශ්‍ය සැලැස්ම සකස්කර ගන්නවා. ඊට පස්සේ ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. සැලැස්මක් ක්‍රියාවට නගද්දී මිනිසුන්ට කායිකව වගේම මානසිකවත් වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා.

මෙන්න මේ විදිහට තමන්ගේ අරමුණු ඉටුකර ගැනීම උදෙසා දැනුවත්ව කය හා මනස වෙහෙසවමින් සැලැස්ම ක්‍රියාවට නැගීමට දරනු ලබන වෙහෙස අපි ශ්‍රමය කියල හඳුන්වනවා. මේකෙන් අපිට පැහැදිලියි ශ්‍රමය වගුරුවන්න යම් අරමුණක් තිබිය යුතුයි. ඒකට සැලැස්මක් තිබිය යුතුයි. සැලැස්මක් සකස් කරන්නේ හොඳට හිතල. ඒ කියන්නේ විඥානයක් සහිත ක්‍රියාවලියක් තමයි ශ්‍රමය කියන්නේ.
දැන් අපිට මේක තවත් කැටි කරල මේ විදිහට කියන්න පුළුවන්. "ශ්‍රමය" යනු මිනිස් අවශ්‍යතා සපුරාලීමේ අදහසින් අප අවට පරිසරයේ පවතින දෙයක් මිනිසාට ප්‍රයෝජනවත් දෙයක් බවට වෙනස් කිරීම ඉලක්ක කරගත් අරමුණු සහගත ක්‍රියාකාරීත්වයයි.

මිනිසා බිහිවුනු මුල්ම කාලයේදී තිබුණු ලොකුම අවශ්‍යතාවය බඩගිනි නිවාගැනීමයි. ඒකට ඔවුන් විවිධ උපක්‍රම තේරුවා. ඒවා ක්‍රියාවට නැගුවා. මුලින්ම ගස් වල ගෙඩි කඩාගෙන කෑවා. පස්සේ සතුන් දඩයම් කළා. සතුන් දඩයම් කරන්න සැලසුම් හැදුවා. මුලින්ම වට කරල පොලු වලින් ගහල සතුන් මැරුවා. පස්සෙ කාලෙක උගුල් ඇටෙව්වා. ඒ හැම දෙයක්ම කළේ සැලැස්මකට අනුවයි. ශ්‍රම ක්‍රියාකාරීත්වයෙන් අලුත් අත්දැකීම් එකතු කරගැනීමට මිනිසුන්ට හැකියාව ලැබුණා. ඒ නිසා සතෙක් දඩයම් කරන විදිහත් හැමදාම එකම විදිහට සිද්ධවුනේ නෑ. අත්දැකීම් විසින් දියුණු උපක්‍රම තේරීම සඳහා බලකළා. එදා අතපය භාවිතා කළ බොහෝ දේවල් වලට අද යන්ත්‍ර සූත්‍ර ආදේශ වෙලා. ඒත් ඒවා මෙහෙය වීමට නැවතත් මිනිස් ශ්‍රමය අවශ්‍යමයි.

"ශ්‍රමය" සවිඥානික ක්‍රියාවලියක්ද?
අපි හිතුවොත් අපි අතේ පිහියක් තියෙනවා. අපි ඉන්න තැන තරමක පැලයකුත් තියෙනවා. අපි වෙන දෙයක් ගැන කතා කර කර ඉන්න ගමන් හෝ ලොකු කල්පනාවක ඉන්න ගමන් පිහියෙන් පැලයට කොට කොටා ගිහින් ගහ කැපිලා ගහ බිමට ඇදගෙන වැටුනා කියල හිතමු. මේක ශ්‍රම ක්‍රියාවලියක්ද? නෑ..... එහෙම නෑ. මේ ගහ කපන්න හේතුවක් නෑ. එහෙම සැලැස්මක් අපිට තිබුණේ නෑ. සිද්ධවුනේ කල්පනාවකින් තොරව ගහ කැපුණු එකයි. ඒ කිව්වේ ගහ කැපුනේ අවිඥානික ක්‍රියාවක් නිසයි.

ඔන්න අපි හිතුවොත් ඒ පැළය තියෙන් තැන අපිට එළවළු පාත්තියක් හදාගන්න ඕනා, ඒකට පැළය බාධාවක් කියල. අන්න ඊට පස්සේ අපිට සැලැස්මක් තියෙනවා පැළය ඉවත් කරන්න. ඒ සැලැස්මට අනුව නම් පැලය ඉවත් වෙන්නේ, ඒ ක්‍රියාවලිය සවිඥානිකව සිද්ධවුනු එකක්. ඒ වගේම අරමුණක් සහිත නිසා ඒක ශ්‍රමය වැගිරවීමක්.

දැන් මේ විදිහට කතා කරගෙන යනවිට ප්‍රශ්නයක් මතු වෙනවා. සතුන් කරන දේවල් ශ්‍රමය වැගිරවීම් නොවෙයිද කියල. සතුන්ට හිතන්න බැරිද? ශ්‍රමයේ කතාව-04න් හමුවෙමු.

No comments:

Post a Comment